Home Gossip අද වෙනකල් එහෙම කැමැත්තක් තියනවා කියලා පෙන්නලවත් නෑ

අද වෙනකල් එහෙම කැමැත්තක් තියනවා කියලා පෙන්නලවත් නෑ

151
0

මෙවර රයිගම් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුණේ ඔබට. පිට පිට සම්මාන ගනිද්දී ආඩම්බරයක් ඇති?

පොඩි සන්තෝෂයක් තියෙනවා. ඒත් එක්කම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම ආනන්ද අබේනායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මං ගැන විශ්වාසයක් තැබුවට. ආනන්ද අබේනායක මහත්මයාගේ මං රඟපාපු නිර්මාණ හැම එකකටම වගේ මොකක්හරි සම්මානයක් ලැබිල තියෙනවා. ඒ වගේම බැද්දේ කුලවමිය නාට්‍යයේ මුළු නාට්‍ය කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ගුරුවරු වන ගාමිණී ෆොන්සේකා, ඩී. බී. නිහාල්සිංහ යන මහත්වරුන් මතක් කරනවා. විනිශ්චය මණ්ඩලයට වගේම රයිගම් එකටත් ස්තුතිවන්ත වෙනවා.

අද මහේන්ද්‍ර පිට පිට සම්මාන ගන්නේ හදා ගත්ත මුල් අඩිතාලම හොඳ නිසා නේද?

මම ආචාර්ය සලමන් ෆොන්සේකාගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. විදේශ රටවල අයත් එක්ක රඟපෑම ගැන අධ්‍යයනය කළා. මුල් කාලේ ඉඳන්ම විශාල කැපකිරීමක් කළා. කලාව කියන දෙය විෂයයක් ලෙස හැදෑරීම සහ සොයා යෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. තාමත් මම විවිධ අභ්‍යාස කරනවා. අනිවාර්යයෙන්ම විෂය තුළ සොයා යෑම කරන්න ඕනෑ. ඒ විෂයට ගරු කරන්න ඕන.

ඔබ යම් චරිතයක් කරන්නේ සම්මානනීය බලාපොරොත්තු තියාගෙනද?

නැහැ. ඒ චරිතය තුළින් ජනතාව කොතරම් දුරට ප්‍රඥාවට ලක් කරන්න පුළුවන්ද? ඒක මිනිස්සුන්ට රස විඳින්න පුළුවන්ද? කියන එක ගැන හිතල තමයි රඟපාන්නේ. චරිතයක් කරනකොට මං අනිවාර්යයෙන්ම සියයට දෙසීයක් කැප කිරීම් කරනවා.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළු ඇගයුම ලැබුණු නිර්මාණය සහ ඒ චරිත පසුබිම ගැන කතා නොකළොත් අඩුවක් වෙයි?

බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය තමයි මම රඟපෑවේ. ඒක හරි පුදුමාකාර කතාවක්. පියෙක් සහ පුතෙක් අතර තියන ගැටුමක් ගැන තමයි එහි කතා කළේ. ඒකේ පියා හරිම රදලවාදී කෙනෙක්. නමුත් ජීවිතේ රස විඳිනවා. මම බොහොම කැමැත්තෙන් ඒ චරිතය කළේ.

ඔබ මුලින්ම සම්බන්ධ වුණු මියුසික් වීඩියෝව තමයි විරාග රාගය කියන්නේ. එය මේ දිනවල ගොඩක් කතා බහට ලක්වෙන මියුසික් වීඩියෝවක්. වෙනස් තේමාවක් තියෙන්නේ. ඇයි ඔබ එයට සම්බන්ධ වෙන්න හිතුවේ?

එක දවසක් අමල් එක්ක පාටි එකකට යනකොට ඒ සිංදුව අහන්න දුන්නා. ඒ සින්දුවට විෂුවල් එකක් කරන්න ඕනෑ කියලා මගෙන් ඇහුවා ඒක කරමුද කියලා. අමල් පෙරේරා කියන්නේ මම අගය කරන ගායකයා. තිසර ඉඹුලාන තමයි මේක අධ්‍යක්ෂණය කළේ. යශෝධාගෙයි, මගෙයි, හේමාල්ගෙයි පළමුවැනි මියුසික් වීඩියෝ එක මේක. එය හොඳ නිර්මාණයක් ලෙස ගොඩ නැඟුණා.

මේ දිනවල ඔබ වැඩිපුර ටෙලි නාට්‍ය, චිත්‍රපටවල පේන්න නැහැ. ඒ කියන්නේ ඔබ වැඩ අඩුවෙන් කරනවාවත්ද?

නැහැ. මගේ නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න තියෙනවා. චිත්‍රපට කීපයක් තිරගත වුණා. කාල, 28 වැනි ඒවා. ටෙලි නාට්‍යයත් හතරක් පහක් විතර කළා. ඒවා ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්.

ටෙලි නාට්‍ය තෝරා ගනිද්දී මෙගාවලින් පිට හරවත් යමකටද සහභාගි වෙන්නේ?

මම මෙගා ටෙලි නාට්‍ය භාරගන්නෙ නෑ. මම සතියෙ දවස් පහම පේන්න එන්නේ නැහැ. පටිපණු රෝග වගේ තියෙන ටෙලි නාට්‍යවලට මම කැමැති නෑ. ඒක ඇවිල්ල රඟපෑමේ තියන විනාශකාරී අවස්ථාවක්.

ඔබේ තෝරා ගැනීම් වැඩියි වගේ?

ඔව්. යම් තරමකට තෝරා බේරා ගැනීම් කරනවා. හැබැයි අන්තවාදී විධියට කරන්නෙ නෑ. ක්‍ෂේත්‍රය නන්නත්තාර වෙලා. අනාගත පරපුර ගැන කලකිරෙනවා. මේ කුණු දේශපාලනය නිසා කලාව විනාශ වෙලා රස වින්දනය බල්ලට ගිහිල්ල තියෙන්නේ. සිනමා කර්මාන්තය නැත්තටම නැති වෙලා. වෙලාවකට මේ දේවල් දමලගහල යන්නත් බැරි නෑ.

ඔබට ඉන්නේ පුතාල තුන්දෙනෙක්. පුතාලා කැමැති නැද්ද කලා ක්‍ෂේත්‍රයට එකතු වෙන්න?

පුතාලට ක්‍ෂේත්‍රය ගැන කැමැත්තක් නෑ. අද වෙනකල් එහෙම කැමැත්තක් තියනවා කියලා පෙන්නලවත් නෑ. ඒගොල්ලෝ ගිටාර් ගහනවා. සින්දු කියනවා. සංගීතයට කැමැතියි. නමුත් අඩු තරමේ ෂූටිං එකක් බලන්න එන්නද කියලවත් අහල නෑ.

(උපුටා ගැනීමකි)

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.